- මහාචාර්ය ඇන්ටන් මීමන
නාසරෙත් හී ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව වඩා නිවැරදි අර්ථවත් සහ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක්කේ එය තේරුම් ගැනීමට උත්සාහ දරන පුද්ගලයාගේ අඛණ්ඩ අධ්‍යාත්මික වර්ධනයේ සහ ගුණවගාවේ ප්‍රතිඵලයක් වශයෙන් පමණි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම යනු තවත් ක්රිස්තුවරයෙක් (Alter Christus) වට පත්වීමට දෛනිකව ප්රයත්න දැරීමයි. නත්තලේ ගැඹුරුතම අර්ථය නම් ක්‍රිස්තුස් වහන්සේ වැනි ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙකු බවට පත්වීමේ අභිලාෂයට උපත දීමයි.
නත්තල සමරණ පුද්ගලයන් තුල ශුද්ධ ජීවිතයක්, අධ්‍යාත්මික ජීවිතයක්, දැහැමි ජීවිතයක්, අවංක ජීවිතයක් සහ පාප විරහිත ජීවිතයක් ගතකිරීම සඳහා ඇති දැඩි පිපාසය, කැපවීම, උද්යෝගය සහ උවමනාව නත්තල සැමරීම සඳහා අනිවාර්යය සහ අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කිතු උපත සැමරීමටත්, පාපයෙන් මිදීමට අප විසින් කරනු ලබන දෛනික අරගලයන් අතර ජීවමාන සහ කිසිසේත්ම වෙන්කළ නොහැකි සම්බන්ධතාවයක් පවතී. නත්තල සමරණ පුද්ගලයන් ඉතා ශුද්ධවන්ත, පිරිසිඳු, අවංක, ධර්මිෂ්ඨ සහ යහපත් ජීවිතයක් දිනපතාම ගතකිරීමට අධිෂ්ඨාන සහගතව කටයුතු කළ යුත්තේ ඒ නිසාය.
ක්‍රිස්තුස් වහන්සේගේ උපත කොන්දේසි විරහිත ආදරයේ, දයාවේ, පේ‍්‍රමයේ සහ කරුණාවේ උපතයි. දෙවියන් වහන්සේ මිනිස් අපට කොන්දේසි විරහිතව ආදරය කිරීමත්, අපගේ පව්වලට උන්වහන්සේ සමාව දීමත් එකම කාසියේ පැති දෙක වේ. එසේනම්, සැබෑ ආදරයේ මූලික ස්වභාවය කුමක්ද? එය නම් තවත් පුද්ගලයෙකුගේ යහපත තකා, සුබ සිද්ධිය උදෙසා තමන්ව කැප කිරීමයි, වැය කිරීමයි, දිය කිරීමයි.
අප තව පුද්ගලයෙකුට ආදරය කරන විට නොකළ යුතු දේවල් බොහෝය. ආදරයේ නාමයෙන් අප කරනු ලබන සියලූම දේවල් සාධාරණය කළ නොහැකිය. ඒවාට අනුබල දිය නොහැකිය. ආදරයේ නාමයෙන් ඉතා දරුණු දේවල්, අමානුෂික දේවල්, පීඩාකාරී දේවල්, හිංසාකාරී දේවල්, අසාධාරණ දේවල් සහ දාමරික දේවල් මිනිසුන් විසින් කරනු ලබයි. ආදරය යනු සෑම මොහොතකම නිවැරදි දේ කිරීමයි. යහපත් දේ කිරීමයි. මිනිසුන්ව නිදහස් කරන දේ කිරීමයි. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම සහ ක්‍රියාත්මක කිරීම යනු දෙවියන් වහන්සේගේ සැළැස්මට අනුව කටයුතු කිරීමයි.
අවසාන විග්රහයේදී ආදරය යනු තීරණයකි. (Love is a decision) දිනපතාම ක්‍රියාවට නැඟිය යුතු තීරණාත්මක මොහොතකි. ආදරයේ මොහොත එය නොනවතින අඛණ්ඩ තීරණයකි. ((Love is an ongoing decision) එය ඉතා ඇප කැපවීමෙන් නඩත්තු කළ යුතු දෙයකි. ඒ සඳහා අධ්‍යාත්මිකව වෙහෙස මහන්සි විය යුතු වේ. ආදරය අතිශයින්ම තීරණාත්මක තීරණයකි. තීරණයක් නැති තැන වගකීමක් නැත. කැපවීමක් නැත. වැයවීමක් නැත.
ආදරය යනු හුදු හැඟීමක් පමණක් නොවේ. යම් පුද්ගලයෙකු කෙරෙහි ආදරය හැඟීමකින් ආරම්භ විය හැකිය. භාවාත්මක ප්රබෝධයකින් හටගත හැකිය. ආකර්ශනයකින් පටන් ගත හැකිය. ආදරය යනු නීරස, වියළි සහ ඒකාකාරී දෙයක් නොවන බව සත්‍යයකි. නමුත්, එය හැඟීමකට වඩා, ආකර්ශනයකට වඩා, උත්තේජනයකට වඩා අතීශයින් ගැඹුරු සහ සංකීර්ණ යථාර්තයකි. ආදරය මේ සෑම දෙයකින්ම ඔබ්බට යන අත්දැකීමකි.
ආදරය යනු ප්‍රසන්න හැඟීමකින්, තියුණු ආකර්ශනයකින් හෝ භාවාත්මක උත්තේජනයකින් ආරම්භ වී තීරණාත්මක තීරණයකින් අවසන් විය යුත්තකි. නමුත්, එම තීරණය දිනපතාම අළුත් කළ යුතු වේ. නැවත නැවතත් ශක්තිමත් කළ යුතු වේ. යළි යළිත් පටන් ගත යුතු වේ. නැවත නැවතත් අප ආදරය කරන ආකාරය ගැන මෙනෙහි කළ යුතු වේ. එය වඩා නිවැරදි සහ ගැඹුරු කරගත යුතු වේ. ඒ දෙස කාලයෙන් කාලයට නැවත හැරී ආපසු බැලිය යුතු වේ.
ඒ අනුව ආදරය යනු කිසිසේත්ම කිසිම දිනක අවසන් නොවන යථාර්තයකි. ආදරය යනු සදාකාලික අත්දැකීමකි. අපගේ මරණින් පසුව ද අප විසින් කරනු ලබන ලද ආදරය අවසන් නොවේ. සැබෑ ආදරයේ බලපෑම සහ බලය සදාකාලිකය.
අඛණ්ඩව ආදරය කිරීම යනු, තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවය
(Individual Identity) හෙවත් චරිත ලක්ෂණ ඉතා ගැඹුරින් තවත් පුද්ගලයෙකු හරහා සොයාගැනීමයි. මා කවුද යන්න අනෙක් පුද්ගලයන් තුළින් නැවත නිර්වචනය කිරීමයි. මගේ නියම පෞද්ගලික අනන්‍යතාවය සැබෑ ජීවිතාර්ථය, ගැඹුරුතම චරිත ලක්ෂණ මට ලැබෙනුයේ මානව සබඳතා තුළින්ය. අන්‍යයන්ගෙන් වෙන්වී, කොන්වී, හුදෙකලාව ජීවත්වීම මිහිපිට අපායකට සමානය. මිනිස් ජීවිතයේ ගැඹුරුතම කැඳවීම එය නොවේ. අප මෙලොවට ඉපදී ඇත්තේ අනුන් වෙනුවෙන් අපගේ ජීවිතය දානය කිරීමටය, වැය කිරීමටය.
දෙවියන් වහන්සේට ආදරය නොකිරීම සැබෑ අසහනයේ, සැබෑ අසතුටේ, සැබෑ කණස්සල්ලේ ආරම්භය යි. මානව ආදරයේ උල්පත දෙවියන් වහන්සේයි. අප තුළ ආදරය කිරීමට ඇති හැකියාව අපට ලැබී තිබෙන්නේ අපට වඩා උත්තරීතර ආදරවන්තයෙකුගෙන් ය. එමෙන්ම එම හැකියාව අපට ලැබෙන්නේ එම ආදරවන්තයාගේ තිළිණයක් වශයෙනි. දෙවියන් වහන්සේගේ කොන්දේසි විරහිත ආදරය අත්දකින්නේ නොමැතිව යමෙකුට සැබවින්ම සතුටු විය නොහැකිය. අප හදවතේ පවතින සෑම තනිකමක්ම, හුදෙකලා භාවයක්ම, පාළු භාවයක්ම, හිස් භාවයක්ම, නීරස භාවයක්ම පුරවාගත හැක්කේ, තෘප්තියට පත්කර ගත හැක්කේ දෙවියන් වහන්සේගේ ආදරයෙන් පමණි. උන්වහන්සේගේ ආදරය හඳුනා නොගැනීම තමාව හඳුනා නොගැනීමකි. දෙවියන් වහන්සේව අත් නොදැකීම තමාව ගැඹුරින් අත් නොදැකීමකි.
දේව ආදරයෙන් පළා යෑම ජීවිතයෙන් පළා යෑමකි. ජීවිතයේ අභියෝගවලට මුහුණ නොදීමකි. භාගෙට, කාලට, අරික්කාලට ජීවත්වීමකි. දේව ආදරය තුළ යැපෙන්නේ නැති පුද්ගලයා පරිපූර්ණ ජීවිතයක් ගත නොකරයි. එවැන්නෙක් ජීවිතයේ සැබෑ අර්ථය, ගැඹුරුතම පරමාර්ථය සහ උත්තරීතර පරමානන්දය හඳුනාගෙන නොමැත. ක්‍රිස්තු උපත යනු, කොන්දේසි විරහිත ආදරය අප අතර මාංශගත වීමයි. උන්වහන්සේ තම ස්ථීර වාසස්ථානය අප අතර තනා ගැනීමයි.
දේව ආදරය අල්ප වශයෙන් හෝ අත්නොදකින පුද්ගලයාගේ ජීවිතය සම්පූර්ණයෙන් අර්ථ ශුන්‍යය. හිස් ය. බොල් ය. දෙවියන් වහන්සේව අත්නොදකින්නෝ වල්මත් වුවන්ය. මංමුළාවූවන්ය. තමාව මවා වදාළ මැවුම්කරුවාණන්ගේ කොන්දේසි විරහිත ආදරයේ ජීවමාන අත්දැකීමක් නොමැතිව මියයෑම, මෙලොව තුළ ලැබිය හැකි දරුණුතම ඛේදවාචකයයි, අසහනයයි, අසතුටයි, ගැඹුරුතම අර්ථ ශුන්‍යභාවය යි. දේව ආදරය යනු සදාකාලික ගංවතුරකි. එම ගංවතුරට අප කිසිසේත්ම බිය විය යුතු නැත.
අපට ගැළවීම ළඟාකර දෙන්නේ ආදරය යි. සැබෑ ගැළවීමට, විමුක්තියට පදනම වැටෙන්නේ අප පේ‍්‍රම කරන තරමටයි. අපට අපවම ගළවාගත නොහැකිය. සැබෑ විමුක්තිය මනුෂ්‍ය අරගලයේත්, දේව පේ‍්‍රමයේත් සුසංයෝගයකි. සංකලනයකි. සැබෑ පේ‍්‍රමයට එරෙහිව කරන ඕනෑම ක්‍රියාවක් පාපයකි. පාපය යනු පේ‍්‍රමයට අවස්ථාවක්, අවකාශයක් නොදීමයි.
කිතු උපත සමරන්නා ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබූ ආකාරයේ, පාපයට එරෙහිව දෛනික අරගලයක් පැවතිය යුතු වේ. අප විසින් පව් කරනු ලබන ප්‍රමාණය වැඩිවන තරමට අපගේ මනුෂ්‍යත්වය ද පිරිහෙයි.
(To sin is to become in human) සැබෑ මනුෂ්‍යත්වය වැඩිදියුණු කරගත හැකි වනුයේ පාපයෙන් ඈත්වී සිටින තරමටය. බේරී සිටින තරමටය.
(To be human is not to sin) ලොව සිටින සැබෑ මිනිසා, නියම මිනිසා, නාසරෙත් හී ජේසුස් වහන්සේ ය. හේතුව එතුමා පාපයට කිසිම ආකාරයක අවස්ථාවක් නුදුන් නිසාය. (Christ is the sin less one) එතුමා ලොව සිටි එකම පාප රහිත පුද්ගලයායි.
අප ද සැබෑ මනුෂ්‍යයන් බවට පත්වන්නේ පාපයෙන් විරහිත වන තරමටයි. සෑම කිතුණුවෙකු තුළම එවැනි අධ්‍යාත්මීක අරගලයක් සහ දිශාන්තියක් තිබිය යුතු වේ. කිතු උපත නිවැරදිව තේරුම්ගත හැකි වනුයේ ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ දරන පුද්ගලයෙකුට පමණි. තවත් ක්රිස්තුවරුන්ව බිහි කිරීමට අමතරව වෙනත් අරමුණක් නත්තල් උත්සවයට තිබිය හැකිද? නාසරෙත් හී ජේසු තුමන් තුළ ක්‍රියාත්මක වූ ශුද්ධාත්මයාණන් වහන්සේම අප තුළත් අද දවසේ ක්‍රියාත්මක විය යුතුයි. එතුමාව මෙහෙය වූ ආත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයට අප තුළත් ගැඹුරු විවෘත භාවයක් ප්‍රගුණ කරගත යුතු වේ. එවිට දෙවියන් වහන්සේට නාසරෙත් හී ජේසුස් වහන්සේ මඟින් ඉටුකරන ලද කාර්යයන් අප තුළිනුත් ඉටු කරගත හැකි වන සේක.
නත්තල සැමරීම සඳහා නාමික කිතුණුවෙක් නොව, සැබෑ කිතු අනුගාමිකයෙක් බවට පත්විය යුතුයි. එතුමා ගැන තව තවත් අත්දැකිය හැකි වනුයේ, දැනගත හැකි වනුයේ එතුමාව අනුගමනය කිරීමේ ක්‍රියාවලිය තුළ ය. එතුමාගේ සැබෑ අනුගාමිකයෙකු බවට පත් නොවී, එතුමාව ගැඹුරින් තේරුම්ගත නොහැකිය. කිතු තුමාට අප ආදරය කරන ප්‍රමාණය අධික වන තරමට, එතුමා ගැන දැනගත හැකි ප්‍රමාණය ද අධික වේ. ජේසු තුමා ගැන දැනගැනීම යනු, එතුමාට කරන ආදරයයි. කිතු තුමාට ආදරය නොකර එතුමා ගැන අපට දැනගත නොහැකිය.
ඒ අනුව, එතුමා තුළ විශ්වාසය වගා කර නොගැනීම සැබෑ අන්ධභාවයයි.
කිතුණු විශ්වාසය කිසිසේත්ම අන්ධ නොවේ. අන්ධ වනුයේ අවිශ්වාසයයි.
එමෙන්ම කි‍්‍රස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. එතුමා මත පූර්ණ, පරිපූර්ණ, සම්පූර්ණ, පරම, උත්තරීතර විශ්වාසය (Pistis) තැබීම ද කිතුණු අනාවරණයේ පැතිකඩකි. එතුමාගේ ඉගැන්වීම් සහ ජීවිතය එකම යථාර්තයකි. ඒ දෙක කිසිසේත්ම වෙන් කළ නොහැකිය. ජේසුස් වහන්සේව තේරුම් ගැනීම යනු එතුමාගේ ඉගැන්වීම් තේරුම් ගැනීමයි. එතුමාගේ ඉගැන්වීම් තේරුම් ගැනීම යනු එතුමාව තේරුම් ගැනීමයි. පණිවුඩකරුවා සහ පණිවුඩය කිසිසේත්ම විසන්ධි කළ නොහැකිය. පණිවුඩකරුවා පණිවුඩයයි. පණිවුඩය පණිවුඩකරුවායි. කිතු තුමා යනු සමස්ථ කිතු දහමයි. එතුමාගේ සමස්ථ ජීවිතයම එතුමාගේ ප්‍රධාන පණිවුඩයයි.
එතුමා සත්‍යය දේශනා කළා පමණක් නොව, එතුමා සත්‍යය ද වූ සේක. එතුමා අපට නව ජීවනය ලබා දුන්නා පමණක් නොව, එතුමා ජීවනය බවට ද පත් වූ සේක. සමස්ථ කිතු දහමේ හරය, සරය, පදනම, ආරම්භය, මැද, අවසානය, මුදුන, ගැඹුර, දිග, පළල, උස, උච්ඡුතම අවස්ථාව, උල්පත, මූලය, මූල බීජය, නිධානය, සේප්පුව, ගබඩාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඒ අනුව ක්‍රිස්තු තුමා යනු අපට සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි පුද්ගලයෙකි. එතුමා තම ජීවිත කාලය පුරාම විශ්වාසනීය ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. එතුමා තුළ සැකයට තුඩු දෙන කිසිඳු හැසිරීම් රටාවක්, සැඟවුණු න්‍යාය පත්‍රයක්, රහස් සැළැස්මක් හෝ කුමන්ත්රණකාරී චේතනාවක් කිසිදා තිබුනේ නැත.
ඒ අනුව, එතුමා තුළ විශ්වාසය වගාකර නොගැනීම සැබෑ අන්ධභාවය යි. කිතුණු විශ්වාසය කිසිසේත්ම අන්ධ නොවේ. අන්ධ වනුයේ අවිශ්වාසය යි. ඇදහිල්ල සැබෑ ආලෝකය යි. අවිශ්වාසය සැබෑ අන්ධකාරය යි. අවිශ්වාස කරන්නෝ ඝන අන්ධකාරයේ වල්මත් වී ඇත. අතරමංවී ඇත. නත්තල යනු ඔවුන්ට මඟ පෙන්වන සැබෑ ආලෝකයේ උපතයි.
එම ආලෝකය නොමැතිව මානව සංහතියට අනාගතයක්, අරමුණක්, අභිප්රායක් නොමැත.
"සියළු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ ලොවට උදාවෙමින් සිටි සේක" (ශු.ජොහාන් 1:9). එම ආලෝකය සත්‍යයේ, ආදරයේ, නිහතමානීත්වයේ ආලෝකයයි. එම ආලෝකය පාපය සදහටම විනාශ කරන ආලෝකයයි. එම ආලෝකයට අප විසින් නිරන්තරයෙන්ම සාක්ෂි දැරිය යුතුයි. එම ආලෝකයේ එළියෙන් ශක්තිමත්ව පාපයට එරෙහිව දිනපතාම අප අරගල කළ යුතුයි. ජේසු තුමා වෙනුවෙන් අපට කළ හැකි නියමාකාර සේවය එයයි. නත්තල් මංගල්‍යයේ ගැඹුරුතම හරය ද, අර්ථය ද එයයි. එබැවින් තවත් කිතුවරයෙක් වීමේ චාරිකාව මේ මොහොතේ පටන් ආරම්භ කරමු.
- මහාචාර්ය ඇන්ටන් මීමන
Published by: Ranjan De Mel.
No comments:
Post a Comment